මනෝ සෞඛ්‍ය පනත උල්ලංඝනය කරන හොර මනෝ උපදේශකයෝ

 


ව්‍යාජ සුදුසුකම් ඉදිරිපත් කොට මනෝ විද්‍යාඥයෙකු ලෙස පෙනී සිටින ඩී.එස්. රණවක 



තිඹිරියාගම බණ්ඩාර සහ අජිත් මදුරප්පෙරුම ගේ ලිපි ඇසුරෙනි 

වියාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැති හොර මනෝ  උපදේශකයෝ විශාල ප්‍රමානයක් රට පුරා විහිදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන බවට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  වෛද්‍යවරයෙකු පෙන්වා දෙයි.  මෙම වෛද්‍යවරයා පවසන අන්දමට සමහරක් පුද්ගලයන් විසින් ඉන්දියාවේ පෙට්ටි කඩ වැනි කිසිම අධ්‍යාපන ගුනාත්මක භාවයක් නොමැති ආයතන වලින් මනෝ විද්‍යා උපාධි මිලට ගෙන සායනික මනෝ විද්‍යාඥ  වැනි නාම යටතේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම  මෙන්ම සමහර විශ්ව විද්‍යාල නොමග යවා විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරු ද ලබාගෙන ඇත.   වැඩිදුරටත් කරුනු දක්වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  මෙම වෛද්‍යවරයා මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා ලංකාවේ විශ්ව විද්‍යාල වල සේවය කරන මනෝ විද්‍යාඥයන් ගේ ප්‍රමානය පස් දෙනෙකුට නොවැඩි බව පවසයි. එසේම ලංකාවේ විශ්ව විද්‍යාල වල  මනෝ විද්‍යා අංශයන්හි සේවය කරන මහාචාර්ය /  කථිකාචාර්ය තනතුරු දරන පුද්ගලයෝ මනෝ විද්‍යාව නොව දර්ශනය වැනි උපාධි හැදෑරූවන් බව පෙන්වා දෙයි. 

 වංචනික වෛද්‍යවරුන් 40,000 ක් පමණ රටපුරා නගරවල වෛද්‍ය සායන පවත්වමින් වෛද්‍ය වෘත්තියේ යෙදෙන බව සෞඛය අමාත්‍යංශය වාර්තා කරන අතර දළ වශයෙන් මොවුන් ගෙන් 8000 පමණ මානසික රෝගින්ට ප්‍රථිකාර කරති.  අප විසින් සිදු කරන ලද විමර්ශනයකදී වියාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැතිව කොලඹ ප්‍රදේශයේ මහා පරිමානයෙන් මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන  පුද්ගලයන් කිහිප දෙනෙකු සොයා ගැනුනු අතර මොවුන් අතරින් ඩී එස් රණවක පුද්ගලයා විශේෂ ස්ථානයක් දරයි.

දොන් සෝමදාස රණවක නොහොත් ඩී එස් රණවක පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි.  මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.

 මාධ්‍යවේදීන් පිරිසක් විසින් කල විමර්ශනයකදී හෙළි වූ කරුණු අනුව ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය යනු අධ්‍යාපනික ආයතනයක් නොව පුණ්‍යයතනයක් ලෙස ලියාපදිංචි කරන ලද ආයතනයකි. එහි අධ්‍යක්ෂකවරයා වන ඩී එස් රණවක තමන්ට FIPC සහ MICP යන මනෝ චිකිත්සක උපාධි ඇති බවට රටට හෙළි කර තිබුනද මේ උපාධි ඔහු විසින් වංචනිකව තම ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය මගින්ම තමන්ටම පිරිනම්මවා ගෙන තිබෙන උපාධි වේ. මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය හෝ ශාස්ත්‍රපති උපාධියක් කිසිම පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඔහු ලබාගෙන නැත.

පිළිගත් විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය උපාධියක්වත් නැති ඩී. එස්. රණවක මහතා විසින් මනෝ උපදේශකයන් පුහුණු කරන අතර මුදල් ගෙවා ඕනෑම අයෙකුට මනෝ විද්‍යාව පිළබඳ MICP සහතික ලබා ගත හැකිය. මේ සහතික දරන්නන් බොහොමයක් අධ්‍යාපන දෙපර්තමේන්තුවේ සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ආදී ආයතනවල මෙන්ම පුද්ගලික සායන ආරම්භ කොට මනෝ උපදේශකයන් වශයෙන් සේවය කරති.

කිසිම දැනුමක් සහ වෘත්තිය පුහුණුවක් නැති මේ පුද්ගලයන් ජනතාවගේ මානසික සෞඛ්‍යය සමග සෙල්ලම් කිරීම බරපතල ගැටලුවක් බව අංගොඩ මානසික රෝහලේ ජේෂ්ඨ මනෝ වෛද්‍යවරයෙකු පවසයි. වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති රණවක මහතා කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි.

ඩී.එස්.රණවක කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හා මනෝ විද්‍යා පීඨයෙහි  හිටපු සහාය  මහාචාර්යවරයෙකි (Associate Professor). ඔහුට තිබූ සුදුසුකම වන්නේ BEd (hons) සහ MA යන සහතික දෙකයි.මනෝ විද්‍යාව විෂයයෙන් හෝ වෙනත් කිසිදු විෂයකින් ඔහු ආචාර්යය උපාධියක් ලබා නොමැත.විශ්ව විද්‍යාල සම්ප්‍රදාය අනුව කලක් සේවය කිරීමෙන් පසුව ඔහු සහාය මහාචාර්‍යවයෙකු බවට පත්විය.අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමේදී මනෝවිද්‍යාත්මක කරුණු අධ්‍යයනය කළ පමණින් මනෝ විද්‍යා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් රණවකට නැත. තවද විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුට මහාචාර්‍ය (Professor)  නාමය භාවිතා කල නොහැක. 

සහාය මහාචාර්යවරුන් (Associate Professor) විශ්‍රාම ගිය පසු මහාචාර්ය යන පදවිනාමය භාවිතා කළ නොහැකි අතර එය වෘත්තිය ආචාර ධර්මවලට මුළුමනින්ම පටහැනිය. කෙසේවෙතත් රණවක මහතා තම ව්‍යාපාර දියුණුවට අත්වැලක් වශයෙනුත්, තම පාරිභෝගික ජනතාව සහ සිසුන් මුලා කිරිම සඳහාත් තමන්ව හඳුන්වා ගැනීම සඳහා මහාචාර්ය නාමය යොදාගනිමින් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසිය.  

රණවක සහ ඔහුගේ ගෝලයන් විසින් රට පුරා මානසික  රෝගීන්ට ප්‍රතිකාර කරන අතර  මෙය රජයේ මනෝ සෞඛ්‍ය පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙගුලාසි බරපතල උල්ලංඝනය කිරීමක් වුවත් ඔහු වර්ෂ ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව මෙම කටයුත්ත පවත්වාගෙන යයි. ඔහු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කර පාඨමාලා පවත්වමින් රටක් රවටා මුදල් වංචා කළ පුද්ලයෙකි. ඔහුගෙන් ව්‍යාජ සහතික ලත් විශාල පිරිසක් මනෝ විද්‍යා පාඨමාලා පවත්වමින්ද මනෝ වෛද්‍යවරුන් ලෙස දිවයිනේ විවිධ ස්ථානවල වෛද්‍ය සායන පවත්වමින්ද රණවකගේ වංචාව ඉදිරියට ගෙනයති.  කොරෝනා ව්‍යසනයේදීද රණවක රූපාවාහිනියෙන් මුදල් ගෙවා වැඩසටහන් ප්‍රචාරය කරන අතර උපදේශනය සහ මානසික ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වෙයි. ලංකාවේ හොර වෙදුන් 50,000 පමණ සිටින බව කියන සෞඛ්‍ය අමාත්‍යවරිය  තම එවැනි හොර වෙදුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරන බව කීවද සෞඛ්‍ය අමාත්‍යංශයේ සිට කිලෝමීටර් 5-6 දුරකින් පිහිටා ඇති මෙම නීති විරෝධී ප්‍රතිකාර මධ්‍යස්ථානය  තවමත් ක්‍රියාත්මකය. 

ඩී එස් රණවක ගේ වියාජ උපාධි කඩයේ අනෙක් බරපතල කරුණ නම් මෙම MIPC , AMPC Dip in Counseling , PGDE Dip in Counseling , යන කිසිදු ප්‍රමිතියක් නැති මනෝවිද්‍යා උපාධි මගින් බොහෝ පිරිසක් රජයේ නිලධාරීන් නොමග යවා රැකියා සහ උසස්වීම් ලබාගෙන තිබීමයි. මෙම කරුණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්යවරියක ගෙන් විමසු විට ඇය ප්‍රකාශ කලේ මෙය ඉතා බරපතල තත්වයක් බවයි. මෙම රැකියා සහ උසස්වීම් ලබාගත් පිරිසට නිසි දැනුමක් සහ පුහුණුවක් නැති බවත් ඔවුන් දැන් වසර ගණනාවක් පුරා අධ්යාපන සහ උපදේශන කටයුතු වල නිරතවන අතර බරපතල ගැටළු ඉන් මතු වී ඇති බවද එම මහාචාර්යවරිය ප්‍රකාශ කලාය.
  . 
ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටියත් මාසිකව විශාල මුදලක් උපයන ආයතනයකි. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල ප්‍රධානීන්ට නොමිලේ උපාධි පිරිනමා හෝ මුල්‍යමය තෑගි දී ඔවුන් මගින් ආයතන සේවකයන්ට රාජ්‍ය මුදල් වලින් පුහුණුව ලබා දෙයි. මේ සියලු මුදල් අධ්‍යක්ෂකවරයාගේ සාක්කුවට බැර වන මේ මුදල් සඳහා කිසිම් අදායම් බදු මුදල් නොගෙවයි. මේ ආයතනය ලියාපදිංචි කරන ලද්දේ ද අල්ලස් පිරිනැමීමෙන් බව විමර්ශනදී හෙළිවී තිබුණි.

තම ව්‍යාපාරික කටයුතුවලට නීත්‍යානුකුල මුහුණුවරක් ලබාදීම සඳහා ඩී. එස්. රණවක මහතා තම ශ්‍රී ලංකා වෘත්තිය මනෝ විද්‍යා උපදේශක ජාතික ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම්ගේ සහය ඇතුව, එකී දෙපාර්තමේන්තුවේ, ලාභ නොලබන සමාජ සේවා ආයතනයක් වශයෙන් ලියාපදිංචි කරනු ලබන අතර එහි ලේකම් වීජී ජෙගරාජසිංහම් මහත්මියට නොමිලයේම MICP උපාධිය පිරිනමනු ලබයි.

ඩී. එස්. රණවක තමන්ගේ අයථා ක්‍රියාවලිය වසන් කරගනු සඳහා පොලිසියේ, හමුදාවේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පමණක් නොව මාධ්‍යවේදීන්ට පවා මෙම උපාධිය පිරිනමා ඇත. බොහොමයක් පොලිස් නිලධාරීන්ට මෙම MICP උපාධිය පිරිනමා ඇති අතර ඔවුහු නීතියේ රැහැනින් ඔහුව ආරක්ෂා කරති.  

 රණවක තම ව්‍යාජ පාඨමාලාවට ආවරණයක් ලබාගැනීම සඳහාත් ඇතිවිය හැකි හිරිහැර වලවා ගැනීම සඳහාත් උපක්‍රමයක් යොදයි.එනම් උපාධි සහතික මගින් මර්මස්ථාන හීලෑකරගැනීමය. එහි එක් පියවරක් වන්නේ  බලගතු පුද්ගලයන්ට තම ව්‍යාජ උපාධි පිරිනමා ඉදිරියේදී ඇතිවිය හැකි බාධා ඉවත්කර ගැනීමය.  එයින් තවත් අරමුණක් ඉටුවේ.එනම් ආයතන ප්‍රධානියකු හට ව්‍යාජ උපාධි පිරි නැමීම මගින් එම ආයතනයේ සේවකයන් හට පාඨමාලා පවත්වා මුදල් ඩැහැ ගැනීමය.

ඔහු වරක් යුද හමුදාවේ ඇජුටන් ජනරාල් ටී.ආර් ද සිල්වා මහතා හට උපාධියක් පිරි නැමුවේය.එමගින් හමුදා සාමාජිකයන් රැසක් තම පාඨමාලාවට ඇදගත්තේය.මේ පාඨමාලා සඳහා මුදල් ගෙවා ඇත්තේ හමුදාවෙනි.එනම් රජයෙනි.මෙය රාජ්‍ය දේපල වංචා කිරීමකි.එයින් නොනැවතී ඇජුටන් ජනරාල්වරයා තම ආයතනයේ විනය බාර නිලධාරියා ලෙසද පත්කර ගත්තේය.  යුද හමුදා නීතිය අනුව කුප්‍රකට සිවිල් ආයතනයක එවැනි තනතුරක් දැරීම හමුදා නීතිය උල්ලංඝනය කිරීමකි.රණවක එයට ද  අනුබල දුන්නේය.එමෙන්ම ටී.ආර් ද සිල්වා යුද හමුදාවේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නිර්දේශ අනුව හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේ පාඨමාලාව හදාරා තිබේ.එමගින් අයථා ලෙස ඔහු හමුදාවෙන් විශාල මුදල්  ප්‍රමාණයක් ලබා ගත්තේය.

 මීට කලකට පෙර රණවකගේ ව්‍යාජ උපාධි සහ ඔහුගේ පාඨමාලා පිළිබඳව  මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් අනාවරණය කළ විට ඔහු පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළේය.පුවත්පත් මණ්ඩලය තීන්දුවක් දෙමින් කියා සිටියේ තම සුදුසුකම් ඔප්පු කරන ලෙසය.ඔහු ඊට අසමත් විය.එහෙත් පාඨමාලා නැවතුණේ නැත.එමෙන්ම ඔහු මනෝ වෛද්‍යවරයකු හැටියට තම ආයතනයට පැමිණෙන මානසික ආබාධවලින් පෙළෙන තරුණියන්ට ප්‍රතිකාරද කරයි.ඔහුගේ ආයතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන ධනවත් තරුණියන්ට සිදුවන ඇබැද්දි වෙනම සොයා බැලිය යුතුය.වෛද්‍ය සභාව මේ පිළිබඳව ගන්නා පියවර කුමක්ද?වංචා විමර්ශන අංශ රණවකගේ මුදල් වංචාව පිළිබඳ විමර්ශනය කරන්නේද?

ඩී එස් රණවකගේ ප්‍රයෝගයන් සහ ඔහුගේ ව්‍යාජ සුදුසුකම් හෙළිවී තිබීම නිසා ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය විසින් පිරිනමන උපාධි සහතික වල කිසිම අධ්‍යාපනික වටිනාකමක් නැති බවත් මේ නිසා මුදල් අතින් ගෙවා මෙම වංචනිකයාට අසු නොවන ලෙසටත් ශ්‍රී ලංකා මනෝ විද්‍යා ආයතනයේ (Sri Lanka Psychology Association ) විධායක නිලධාරිනියක් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 හොර මනෝ  උපදේශකයන් ගෙන් ප්‍රවේසම් වීම සඳහා ජනතාවට පහත පියවර ගන්නා ලෙසට මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු උපදෙස් දෙයි.   1) මනෝ උපදේශකයෙකු වෙත යන විට ඔහුගේ සුදුසුකම් විමසා සිටීම . සේවාදායකයාට තම සුදුසුකම් කීමට ඔහු බැඳී සිටියි. එම තොරතුරු ඔහුගේ අත් අකුරින් හෝ සීල් එකක් මගින් ඉල්ලා සිටිය හැකිය. එම සුදුසුකම් රජයේ රෝහලක මානසික වෛද්‍යවරයෙකුගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මගින් පරික්ශා කර ගත හැක.   2) වියාජ වෛද්‍යවරුන් සහ මනෝ උපදේශයන් ගැන තොරතුරු  තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දුරකථනයෙන් හෝ ලිපියක් මගින් දැනුම් දිය හැක.  එසේම  රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ  සංගමයට යොමු කල හැක. දුරකථනය 0112580886, 0714999555   සුදුසුකම් නොමැතිව මානසික රෝගීන්ට ප්‍රථිකාර කිරීම  උසාවියකින් දඩ හා සිර දඩුවම් ලැබිය හැකි වරදකි. ඔබට හෝ ඔබගේ ඥාතියෙකුට වියාජ මනෝ උපදේශකයෙකු හෝ වියාජ වෛද්‍යවරයෙකු ප්‍රථිකාර කොට තිබුනේ නම් නීතිවේදියෙකු මගින් නඩු නොපැවරීමට නම්  වන්දි ලෙස රුපියල්   ලක්‍ෂ 10- 50 අතර මුදලක් ඉල්ලා  එන්තර වාසියක් යවන්න.  අප දන්නා පුද්ගලයන් එසේ වියාජ මනෝ උපදේශකයන්ට  සහ  වියාජ වෛද්‍යවරයන්ට එන්තර වාසි යවා  නීතිවේදීන් මගින් ලක්‍ෂ 3 - 8 දක්වා මුදල් වන්දි ලබාගෙන තිබේ. 


Comments

Popular posts from this blog

The Kidney Mafia in Sri Lanka

තරුණියක් දූෂණය කල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා - ජේ . ඩී සී ජයසිංහ