කුඩා දරුවාට මත්වතුර පෙවූ තරුණයාට ඇප

 


කුඩා දරුවකුට මත්වතුර පොවමින් එහි දර්ශන ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හළ 25 හැවිරිදි තරුණයකු පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඊයේ (11) මුදා හැර තිබේ.  මේ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය මෙය සිදුව ඇත්තේ පෑලියගොඩ නුගේපාර ප්‍රදේශයේ බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.  අදාළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, කුඩා දරුවා වයස අවුරුදු 4ක් වන පිරිමි දරුවකු බවද පොලිසිය පවසයි.  එම සිදුවීමට මුහුණ පෑ දරුවා සහ දරුවාගේ මවද පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා තිබිණි. 

එහිදී පොලිස් නිලධාරීන් හමුවේ එම කාන්තාව සඳහන් කර සිටියේ, දරුවාගේ පියා වෙන්ව ගොස් ඇති බවත් එනිසා තමා රැකියාවට යන තුරු මිත්තණිය සමඟ දරුවා සිටින බවත්ය.  පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම තරුණයා සඳහන් කර සිටියේ, තමා විනෝදයක් ලෙස එම ක්‍රියාව කළ බවත් එම බීර ටින් එක තුළ වෙනත් බීම වර්ගයක් තිබූ බවත්ය.  ‘තමුන්ට නංගිලා මල්ලිලා නැද්ද? තමන් පොඩි කාලේ තමුන්ට මෙහෙම දෙයක් කළොත්? තමුන්ගේ මව්පියන්ට කොච්චර වේදනාවක් ද? තමුන් දුන්නේ රටටම නරක ආදර්ශයක්. තමුන් දන්නවා ද ඒකෙ තියෙන බරපතළකම යනුවෙන් මෙහිදී පොලිස් නිලධාරියකු මේ තරුණයාට දැඩි ලෙස අවවාද කරනු ලැබීය. පොලිස් නිලධාරීන් පවසා සිටියේ මෙවන් වැරදි ඉදිරියේදී නොකිරීමට දැඩි දඬුවම් පැමිණ විය යුතු බවය.  

මේ වරදකාරි ක්‍රියාව අධිකරණය අනුමත නොකරන බවට තදින් අවවාද කළ මහේස්ත්‍රාත්වරයා පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළේය.  මේ දරුවා ලිංගික හෝ මානසික අපයෝජනයට ලක්ව ඇත් දැයි බැලීම සඳහා වාර්තාවක් කැඳවීමට රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කර වෛද්‍ය වාර්තා කැඳවීමට කටයුතු කළ බව පෑලියගොඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.  සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ මේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරු පසුතැවිලි වන බවත් ඔහු උසස් අධ්‍යාපනය ලබන තරුණයකු බවත්ය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරි අතර, නඩුව ලබන ඔක්‌තෝබර් මස 11 වැනිදා කැඳවීමට නියෝග කළේය.

Comments

Popular posts from this blog

මනෝ සෞඛ්‍ය පනත උල්ලංඝනය කරන හොර මනෝ උපදේශකයෝ

තරුණියක් දූෂණය කල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා - ජේ . ඩී සී ජයසිංහ

The Kidney Mafia in Sri Lanka